පළමු සතිය

සති අන්තයේ මල්ලී ආපහු කටුබැද්දේ යන්නයි අදහස. අම්මයි නංගියි හිටියත් මට මල්ලී නැති පාළුව දැනෙයි. මා නැති අවුරුදු හතරේ මල්ලී හොඳටම වෙනස්වෙලා. ඉස්සර පිස්සු නටපු කොල්ලා දැන් දැනුම් තේරුම් ඇති වැඩිහිටියෙක්. මාත් එක්ක සසඳා බැලුවොත් දැන් මල්ලිට මට වඩා කාරණා තේරෙනවා කියලා මට හිතෙන්නේ. ගෙදර අප්පු දවසේ හවස ඇලේ නාන්න ගිය වෙලාවේ ඉඩම් ගැන කියපු කතාවෙන් මට ඒක හොඳටම ඒත්තු ගියා. අම්මා ගැන කියූ දේ ඊටත් වැඩිය වැදගත් කියලා මට හිතුනා.

“අයියා… අම්මා කැමති නෑ රස්සාව අතාරින්න අපි තුන්දෙනාම රස්සා හොයාගන්නකම්. ඒ ඇයි කියලා මට තේරෙනවා… අප්පච්චී නැතිවුනාට පස්සේ අම්මා තනියම අපි තුන්දෙනාට ඉගැන්නුවේ. ඒ දවස්වල තිබුන බය - ළමයි හොඳට බලාගන්ට බැරිවෙයි කියන බය - තවම සම්පූර්ණෙන්ම ගිහින් නෑ. අයියා රස්සාව පටන් ගත්තහම ටිකක් හිතට හොඳවෙයි. අක්කත් ගුරු පත්වීමක් ලැබිලා කසාදෙකුත් බැඳගත්තහම වැඩ අතෑරලා දමන්ට කැමති වෙයි. අම්මා මං ගැන බය වෙන්නෙ නෑ - මට ඒක කිව්වා දැන්මාස හයකට විතර ඉස්සර… අනික් අතට, අම්මා තවම පනස් තුනයි - විශ්රාම වයසක් නෙවෙයි!”

අම්මගෙ වයස ගැන මම මීට ඉස්සර හිතලා නෑ. ඇත්තටම මම දන්න වයස පනස් ගනන් බ්රිස්බන් ගෑනු දෙන්නෙක් කසාද බැන්දා ගිය අවුරුද්දේ. ඒ දෙන්නගෙ විශ්රාමයක් ගැන නොහිතන මම කොහොමද අපෙ අම්මට විශ්රාම ගන්න කියන්නේ? රටවල් දෙකයි සමාජයයි වෙනස් කියලා මිනිස්සු කිව්වට ලංකාවයි ඔස්ට්රේලියාවයි අතර ඒ තරම් වෙනසක් මම දැක්කෙ නෑ. අම්මට පැටවිලා තියෙන ආර්ථික බර ටිකක් සැහැල්ලු කරලා ඊට පස්සේ අම්මටම විශ්රාම ගැන තීරණයක් ගන්න සලසන්න මල්ලියි මමයි එකඟවුනා. ඒ අදහස නංගී එක්ක සාකච්ඡා කිරීම මම බාර ගත්තා.

“මොකොද ලොක්කා බර කල්පනාවකින්?”

මම නැගිටලා අම්මට හාන්සි පුටුව දෙන්න ගියාට අම්මා අතින් මට වාඩිවෙන්න කියලා ඉස්තෝප්පුවේ අනික් පුටුවේ වාඩිවුනා.

“නෑ අම්මා… මං හිතුවේ මල්ලී කොච්චර වෙනස්වෙලාද කියලා… මට මතකයි ඒ දවස්වල පිස්සු නටපු හැටි!”

“කොල්ලෝ පොඩි කාලේ නැටුවට කාරණා තේරෙනවා කල් යනකොට. චූටියට ඉක්මනට හැදෙන්ට වුනා ලොක්කත් නැති නිසා… දෙයියන්ගෙ පිහිටෙන් මට කිසි කරදරයක් නෑ පොඩි එකාගෙන්… දැන් ගෙදරින් සල්ලිගන්නෙත් නෑ - පොඩි රස්සාවක් හොයාගෙන…”

“ඔවු… මට කිව්වා… මල්ලිගෙන් කරදරයක් නෑ කිව්වේ නංගිගෙන් කරදරද?”

අම්මා වහාම කතා කරේ නෑ. අන්තිමට කතා කරේ ඈත වෙල් යාය දිහා බලාගෙන.

“තවම පත්වීමක් නැති එක කෙල්ලගෙ හිතට අමාරුයි… දැන් පුහුණු වෙලා අවුරුද්දකට කිට්ටුයි. මගෙ හිතේ තියෙන්නේ වයස විසි හයත් ලබලා තවම කසාදයක් කරගන්ට හෝඩුවාවක් නෑ…”

මට අම්මා ගැන දුකක් හිතුනා.

“ඒ හැටි ගානට ගන්න එපා ඕවා අම්මා… විසි හයත් වයසක්ද? බලමු මාත් රස්සාවක් පටන්ගත්තම අපෙ ජීවිතෙන් මොන මොනවා වෙනස් වෙයිද කියලා”

“ලොක්කට නුවර පැත්තේ රස්සාවක් තියෙයිද? කොළඹ යන්ට වුනොත් ආයෙ රට ගියා වගේ තමා!”

මට හිනා ගියා; පැය තුනේ ගමන රට යෑමක් වගේ හිතන එක ගැන. ඔස්ට්රේලියාවේ සමහර තැන්වල පැය තුනක් කාරෙක එලවන්න ඕනෑ කඩසාප්පුවක් සොයාගන්න. නමුත් මට මතකයි අපි ‘සිදාදිය’ ගැන ඒ දවස්වල හිතපු හැටි. අපෙ ගමේම කී දෙනෙක් හිටියද මුහුද දැකලා නැති! අම්මා කොයි තරම් නුවරයි කුරුනෑගලයි වැඩ කළත් කොළඹ තවම ‘පිට’ තැනක්.

“මං නුවරට කිට්ටු කොම්පැනි දෙකකට කතා කරලා තියෙන්නේ. රස්සාවක් නැතිවෙන්නෙ නෑ. මං හිතුවේ ටිකක් අඩු පඩි නුවර රස්සාවක් කරන එක හොඳයි කියලා ලොකු පඩියකට කොළඹ යනවට වැඩිය… ඒ කොළඹ දුර වැඩියි කියලා නෙවෙයි - රස්නේ හින්දා. මට ඇතිවෙන්න රස්නේ තිබුනා බ්රිස්බන් වල - මෙහෙට වැඩිය රස්නෙයි දෙසැම්බර්-ජනවාරි”

“මොකද්ද ආයෙ හදිස්සිය? අවුරුදු ගානක් මහන්සිවෙලා ආවහම බැරියෑ සතියක් දෙකක් ගෙදෙට්ට වෙලා ඉන්ට…”

“ඉතින් අම්මා වැඩට යනවා… මම ගෙදර ඉඳන් මොකද කරන්නේ?”

“මං කිව්වේ මෙහෙන් හෙල්ලෙන්ට එපා කියලා නෙවෙයි! අනික නංගිත් ඉන්නවා… අර පෙර පාසැලේ වැඩ නැතිකොට. ලොක්කට පුළුවන් පරණ යාළුවෝ එහෙම හම්බවෙලා, ගම් පැත්තේ ටිකක් ඇවිදලා එහෙම…”

“මොකද්ද නංගිගෙ පෙර පාසැල් වැඩේ?”

“… මතකද කෙල්ලගෙ යාළුවෙක් හිටියා ජීවනී කියලා? ඉස්කෝලේ යාළුවෙක්. එයා මෙහෙ පොඩි පෙරපාසැලක් පටන්ගෙන. දුව එතන උදව් කරනවා - පඩියක් කියලා නැතිවුනාට ඒක හොඳයි කෙල්ලට…”

“නියමයි… ඉගෙන ගත්ත එකෙන් ප්රයෝජනයක් නොගත්තොත් දන්න දේ නිකම්ම අපෝ වෙලා යනවා… මටත් ඒක වෙයිද දන්නෙ නෑ. හැබැයි අම්මා කියපු එකේ ඇත්තක් තියෙනවා. මගෙ පරණ යාළුවෝ කීප දෙනෙක් තවම නුවර පැත්තේ … අනික් සමහරු කොහෙද දන්නෙ නෑ!”

“ඒක තමයි… එක සැරේම වැඩට බහින්ට ඕන නෑ!”

………………………..

රස්සාවේ ප්රතිඵල මගේ සාක්කුවේ - පළමු දවස් හතරේ පඩිය!

සිකුරාදා හවස තුනට ඉන්ටස්ටේට් දුම්රියපොලෙන් එලියට ආවේ සන්තෝසෙන් - මගේම මහන්සියෙන් උපයාගත්ත මුදල මගෙ අළුත් ජීවිතේ වැදගත් සලකුණු කාරකයක්! පසුගිය දවස් හතරේදී මම රස්සාව හොඳට පුරුදුවුනා. වැඩ කරන වෙලාවේ වැඩි කතාබහක් නොවුනත් මගෙ ලොක්කා ඉයන්ගෙන් වත් අනික් සේවකයන්ගෙන් වත් මට කිසිම කරදරයක් තිබුනෙ නෑ. දුම්රියපොලෙන් පාරට බහින වෙලාවේ මා සමග වැඩකළ තවත් කොල්ලෙක් එලියට ඇවිත් මාත් එක්ක හිනාවුනා.

“එනවද බීර එකක් බොන්න?”

ඒ ආරාධනය මම බලාපොරොත්තුවූ එකක් නොවෙයි. වේදිකාවේ දැකලා තිබුනට මම එයාගෙ නමවත් දන්නෙ නෑ. ඒ නිසා වෙන්න ඇති උත්තර දෙන්න මම තප්පර කීපයක් ගියේ. මගේ පැකිළීම දැකලා මිනිහා හිනාවුනා.

“බීර බොන්නෙ නැත්නම් කමක් නෑ… මම හැම සිකුරාදම පබ් එකට යනවා වැඩ ඉවරවෙලා… මේ ලඟම තියෙන පබ් එකට. බීර දෙකයි - ගෙදර”

මම හිනාවෙලා අත ඉස්සරහට දැම්මා.

“බීර එකක් බිව්වොත්නම් හොඳයි… මම ලලිත්”

කොල්ලත් හිනා වෙලා අතට අත දුන්නා.

“ඩේවිඩ්”

මම ඩේවිඩ් එක්ක බීර දෙකක් බිව්වා - පළවෙනි රවුම එයාගෙන්; දෙවෙනි එක මගෙන්. ලඟදී එන ක්රිකට් මැච් එකක් ගැන හැර වෙන වැඩි කතාවක් නෑ. එයා විශ්වවිද්යාල සිසුවෙක් බවත් මේ නිවාඩුවට මාස තුනක් වැඩ කරන්න බලාපොරොත්තු වෙන බවත් කිව්වා. තමාගෙ නවාතැන ටිකක් ඈත වුනත් ඩේවිඩ් මාව ගෙදර ගෙනත් බැස්සුවේ “සඳුදා හමුවෙමු” කියාගෙනයි.

දුම්රිය දෙපාර්තමේන්තු රස්සාව මගෙ ජීවිතේ එක කොටසක් පමණයි කියලා මට මතක්වුනේ මගෙ නවාතැන් ගොඩනැගිල්ල ඉදිරියේදී. මගේ කාමරේට ගියාට සිංහල සින්දුවක් අහන්න ආයෙ බෑ - මම කාලයක් හවසට කරපු දෙයක්. සිංහලෙන් කතාකරන්න ඉන්නේ නීලා විතරයි. ඇඩිලේඩ් වල තිලකා පීරිස් වගේම තව තුන් හතර දෙනෙක් නීලට ෆැක්ස් එවලා තියෙනවා. ඒ අයට මේ සති අන්තයේ කතා කරන්න නීලයි මමයි එකඟවෙලා ඉන්නේ.

මට හිතුනා කාමරේට යන්න ඉස්සර නීලගෙන් සතිඅන්ත සාකච්චා වල විස්තර අහගන්න එක් හොඳයි කියලා. ඒ තීරණය අනුව මම කෙලින්ම නීලගෙ ෆ්ලැට් එකට ගියා. මම තට්ටු කළ වහාම නීලා දොර ඇරියා.

“ලලිත් පබ් එකට ගියා නේද?”

මට පුදුමයි ඉස්සරවෙලාම අහපු ප්රශ්නේ ගැන.

“නීලා… අපි කසාද බැඳලා නෑ. ඔයා මගෙ පවුල නෙවෙයි, ඒ ප්රශ්නේ අහන්න!”

නිලා හිනාවුනේ නෑ.

“සොරි ලලිත්… හැබැයි… මම එහෙම අහන එකේ වැරැද්දක් මට පෙනෙන්නෙ නෑ - යාළුවෙක් හැටියට. ඒක ලලිත් මගෙන් ‘ලෙක්චර් ගියාද?’ කියලා අහනවා වගේ”

“සොරි නීලා - මගෙයි වැරැද්ද. ඔවු, මම වැඩපොලේ එකෙක් එක්ක පබ් එකට ගියා - ඩේවිඩ් කියලා පොරක්. මාව මෙතන් ඩ්රොප් කරගෙන ගියේ දැන්…”

“තවම කාමරේට ගියෙත් නැද්ද?”

“නෑ… මම බැලුවේ අර ලාංකික මීටිම ගැන කතා කරගන්න, කාමරේට යන්න ඉස්සර. කාමරේට ගියොත් නාලා, මොකවත් තම්බගෙන කනවා හැර ආයෙ මීටින් ගැන කතා කරන්න කාමරෙන් එලියට එන්න හිතෙන එකක් නෑ!” නීලා හිනාවුනා.

“ඕනනම් උඩට ගිහින් නාලා, කන්න මෙහෙ ආවොත් කෑමයි මීටිමේ කතාවයි එකට කරගන්න පුළුවන්”

………………………….

“අම්මා කිව්වා අයියා රස්තියාදුවේ ගියා කියලා… නුවර ගියාද?”

මම බස් එකෙන් බැහැලා ගෙදර ආ වෙලාවේ නංගී ඉස්සරවෙලාම අහපු ප්රශ්නේ.

“තේ එකක් වත් නොදී හරස් ප්රශ්න අහන්නේ? කෝ අම්මා?”

“අර අරඹේ ගෙදර ගියා - එහෙ පොඩි කොල්ලෙක් වැටිලා කකුල කපාගෙන”

“අම්මා ගමේ වෙදා හැටියටත් වැඩද?”

“නෑ… අරඹේ ගෙදර බිසෝට ලෙඩ; කිරිබංඩා කුරුණෑගල ගිහින්. බිසෝ බාල දරුවා මෙහාට එව්වේ ඒකට මොනවද දාන්නේ කියලා අම්මගෙන් අහගන්ට… අම්ම බෙහෙත් මල්ලකුත් අරගෙන ගියේ… ඇත්තටම කොහෙද රස්තියාදුවේ ගියේ?”

“කිසි රස්තියාදුවක් නෑ - අම්මා තමා කිව්වේ පරණ යාළුවෝ එහෙම හම්බවෙන එක හොඳයි නේද කියලා රස්සාවක් පටන්ගන්න ඉස්සරවෙලා… මොකද්ද මේ ඔයාගෙ රස්සාව?”

“ඒක රස්සාවක්ම නෙවෙයි… මම ජීවනීට පොඩි උදව්වක් දෙනවා”

“හොඳයි නේ! මට පරණ යාළුවෝ දෙන්නෙක් හම්බවුනා. බීර එකකුත් බිව්වා. හැබැයි ඒ දෙන්නම ආන්ඩුවට බනින එක තමා දිගටම කරේ! වැඩිය කතා කරන්න ආසාවක් නෑ වගේ…”

“ඒක ඒ අයගෙ වැරැද්දක් නෙවෙයි අයියා… දැන් කඩවල බඩු නෑ… ගණන් වැඩී… පඩියට වැඩ කරන අයට අතේ සල්ලි නෑ… අමාරුයි තමා…”

ලකාවේ ආර්ථික ප්රශ්න තියෙන බව මම දන්නවා. නමුත් ඒ ප්රශ්න මට තවම කෙලින්ම බලපෑමක් නැති නිසා ඒ ගැන මම වැඩිය හිතුවෙ නෑ. අනික, ගම් පලාතේ ඉන්න අපිට නගරබද ඉන්නන්ට තරම් කරදර නැති බව මට පෙනෙනවා. මගෙ යාළු චන්දරේ කීප සැරයක් ‘දැන් බලපන් පොල් ගෙඩියක් කීයද කියලා!’ කිව්වේ ගමේ අපෙ පවුලට නැති ප්රශ්නයක් ගැන.

කොයි තරම් කාලයක් පිට රට ජීවත්වෙලා හිටියත්, ආපහු ලංකාවට ආපු වහාම ලංකාවේ ප්රශ්න වලටයි මුහුණ දෙන්න වෙන්නේ. බ්රිස්බන් හිටපු කාලය මගේ මතකයක් පමණයි - ලංකාවේ යාළුවන්ට ඒවා වැදගත් නෑ.

ඇත්තෙන්ම මගෙ පවුලේ අයවත් මගෙ බ්රිස්බන් ජීවිතය ගැන හාරා සොයා බලන්න හේතුවක් දැක්කෙ නෑ. ඒ අයගෙ ප්රතිචාරය හරියටම හරි බව මට පළමු දවස් කීපේදී වැටහුනා. බ්රිස්බන්වල සමහර තැන් සහ සිදුවීම් මගෙ සිත සතුටු කළාට ඒවා එහෙ නොගිය කෙනෙකුට කිසිම වටිනාකමක් නැති බව මට පැහැදිළිවම පෙනෙනවා.

බ්රිස්බන් යාළුවෙකුට පොලොස් ඇඹුල් වල රස හෝ ඇලේ පිහිල්ලේ නෑමෙන් ලැබෙන සතුට කියා දෙන්න අමාරුයි.

“ඔස්ට්රේලියාවෙත් එහෙම තමයි නංගී… ඒ අයත් නිතරම ආන්ඩුවට බනිනවා, වැරදි හොයනවා. ජීවත්වෙන්න ආදායම මදි කියලා කියනවා… අපි ඔක්කොම එකයි! අර මම ඉස්සරවෙලා කියපු තේ එක දැන්වත් බොමුද?”

……………………..

“මම බීර දෙකක් ගෙනාවා - එකක් ඕනද?”

“මට එපා ලලිත් - මට බීර අල්ලන්නෙම නෑ; මොකට ඕවා බොනවද මන්දා!”

“නීලා වයින්ද බොන්නේ?”

ඒකට නීලට හිනා ගියා.

“ඉඳලා හිටලා!”

“මගෙ ෆ්ලැට් එකේ වයින් නෑ…”

“මං ලඟ තියෙනවා… හැබැයි දැන් බොන්න බෑ… ලලිත් අද කෑමට තියෙන්නේ ෆ්රයිඩ් රයිස් - ඊයේ හදපු එකේ ඉතුරු ටික. අද හදපු අල බැදුම විතරයි ඒකත් එක්ක තියෙන්නේ”